//ශ්‍රී ලංකාව ‘පුංචි ඇමර්සන් වනයක්’ – විදු ලොවේ වාර්තා අලුත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් පවසයි
ශ්‍රී ලංකාව 'පුංචි ඇමර්සන් වනයක්' - විදු ලොවේ වාර්තා අලුත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් පවසයි

ශ්‍රී ලංකාව ‘පුංචි ඇමර්සන් වනයක්’ – විදු ලොවේ වාර්තා අලුත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් පවසයි

“බලන්න, විල්පත්තු වන විනාශයක් ගැන හැමෝම කතා කළා. මම විල්පත්තුවට ගිහින් කළ පර්යේෂණවලින් පසු පළ කරපු පර්යේෂණ වාර්තා මගින් බලා ගත හැකියි, එය කෙතරම් සංවේදී පරිසර පද්ධතියක් ද කියන එක. නමුත් ඒ සම්බන්ධයෙන් අදටත් විධිමත් සොයා බැලීමක් සිදු වෙලා නැහැ.”

බීබීසී පුවත් සේවය ඇසුරිණි.

ඇය ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකි.

නමින් ගෝතමී වීරකෝන් වන ඇය ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ(Natural History Museum) ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු (Senior Curator of Lichens and Slime Moulds) ලෙස කටයුතු කරන්නීය.

ආචාර්ය ගෝතමී වීරකෝන් විසින් ලොවට හඳුන්වා දෙන ලද නව ලයිකන විශේෂ සංඛ්‍යාව 123 කි. ඉන් 90 ක් පමණ ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ වේ.

ඇය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පර්යේෂණ පත්‍රිකා (Research Papers) ප්‍රමාණය 40 කට ආසන්නය.

ලොව ප්‍රමුඛ පෙළ විද්‍යා සහ අධ්‍යාපන ආයතන අතරින් එකක් වන ‘නැෂනල් ජියොග්‍රැෆික් සොසයිටි’ (National Geographic Society) වෙතින් ප්‍රදානය කරන වාර්ෂික ජෛව විවිධත්ව ගවේෂණ අරමුදල හිමි කර ගත් දකුණු ආසියාවේ පළමු විද්‍යාඥවරිය ද ඇයයි.

ශ්‍රී ලංකාවෙන් ‘වාර්තාවක්’

විවිධ වර්ණ සහ ත්‍රිමාන හැඩවලින් සමන්විත ලයිකන බොහෝ විට ශාක සහ පර්වත මතුපිට දක්නට ලැබේ

ආචාර්ය ගෝතමී වීරකෝන් 2015 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ කළ පර්යේෂණ මගින් ග්‍රැෆිඩේසි (Graphidaceae) නමැති ලයිකන පවුලට අයත් ග්‍රැෆිස් (Graphis) ගණයේ ලයිකන 128 ක් හඳුනා ගෙන ඇත. ඒ අතරින් 106 ක්ම ශ්‍රී ලංකාවෙන් අලුතෙන් වාර්තා වූ ලයිකන විශේෂ වේ.

අදාළ පර්යේෂණ වාර්තාව 2019 වසරේ දෙසැම්බර් මස ‘ද ලයික්න්ලොජිස්ට්’ (The Lichenologist) විද්‍යා සඟරාවේ පළ විය.

“ඒ අනුව ලෝකයේ තනි රටකින් වැඩිම ග්‍රැෆිස් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා,” යනුවෙන් සිය නවතම පර්යේෂණ වාර්තාව පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ආචාර්ය ගෝතමී වීරකෝන් පැවසීය.

“නිවර්තන කලාපීය රටවල දක්නට ලැබෙන ග්‍රැෆිඩේසි පවුලේ ලයිකන විශේෂ වැඩි සංඛ්‍යාවක් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තමයි ග්‍රැෆිඩේසි සඳහා ලෝකයේ තිබෙන හොට්ස්පොට් එක (Hotspot/තෝතැන්න)”

කඩොලාන

සීදුව ‘කඩොල් කැළේ’ ගින්න 20.02.2020 දිස්වූ අයුරු
නිල සංඛ්‍යා ලේඛණ අනුව පසුගිය වසර 100 තුළ ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තරවලින් 76% ක් විනාශ වී ඇතැයි ඇස්තමේන්තු කෙරේ

එමෙන්ම ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක ආශ්‍රිතව පවතින ලයිකන තුළ අඩංගු රසායනික සංයෝගවල පිළිකා නාශක ගුණ ඇතැයි සිය දායකත්වය ඇතිව කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාව පිළිබඳ මහාචාරිනී ප්‍රියානි පරණගම සහ ආචාර්ය රේණුකා අත්තනායක එහි සිසුන් කණ්ඩායමක් සමඟ එක්ව කළ පර්යේෂණවලින් සොයා ගන්නා ලද බව ආචාර්ය ගෝතමී වීරකෝන් පැවසීය.

ජෛව විවිධත්වය අතින් පොහොසත් ශ්‍රී ලංකාව ‘පුංචි ඇමර්සන් වනයක්’ ලෙස හඳුන්වන ඇය, එකී පරිසර පද්ධතිය රැක ගැනීමට හැකි නම් ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් මගින් තවත් බොහෝ දේ ලොවට දායාද කළ හැකි බව කියා සිටී.

“ශ්‍රී ලංකාව පොඩි රටක් වුණාට, විවිධත්වය (Diversity) අතින් ඉතාමත් ඉහළයි. මම තාම මේ පර්යේෂණ කරලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ 5% අඩු භූමි ප්‍රමාණයක. එතකොට මේ ලයිකන සියල්ල වාර්තා වෙන්නේ ඒ සීමිත භූමි ප්‍රමාණය තුළ. ශ්‍රී ලංකාව තුළ ඇති පරිසර පද්ධති සියයට සියයක් අධ්‍යනය කළ දවසට ලයිකන 3,000 අධික සංඛ්‍යාවක්වත් ලංකාවෙන් වාර්තා විය හැකියි.”

මොනවද මේ ලයිකන?

විවිධ වර්ණ සහ ත්‍රිමාන හැඩවලින් සමන්විත ලයිකන බොහෝ විට ශාක සහ පර්වත මතුපිට දක්නට ලැබේ. ලොව පුරා ලයිකන වර්ග 20,000 ක් පමණ හඳුනා ගෙන ඇත. එමන්ම රසායනික සංයෝග 2,500 අධික සංඛ්‍යාවක් ලයිකන මගින් නිපදවෙන බව හඳුනා ගෙන තිබේ. ආචාර්ය ගෝතමී වීරකෝන් පවසන පරිදි ලයිකන යනු කුඩා පරිසර පද්ධතියකි.

“ලයිකන, පුස් සහ ඇල්ගී හෝ නීල හරිත බැක්ටීරියාවක සහ-සංයෝජනයෙන් හැදෙන ජීව විශේෂයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව බැක්ටීරියා සහ ඊස්ට් වැනි සෛල වර්ගත් මෙහි දක්නට ලැබෙනවා. මේ සියල්ල එකට එකතු වෙලා ජීවත් වෙන නිසා, එය කුඩා ස්වභාවික පරිසරයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.”

“ලයිකන, පාරිසරික තත්ත්ව නිර්ණය කිරීම සඳහා ජීව මිනුම් දර්ශකයක් (Bio Indicator) වශයෙන් ලොව පුරා භාවිත කරනවා. එය ලයිකනවල තිබෙන විශාලතම වැදගත්කමක්. මොකද ලයිකන පරිසර උෂ්ණත්වයට, වායු දූෂණයට, වනාන්තර අවක්‍රමණයට (Forest Degradation), වාසභූමි අවක්‍රමණයට (Habitat Degradation) ඉතාම සංවේදී. ඒ වගේම ලයිකන විසින් බොහෝ රසායනික සංයෝග නිපදවනු ලබනවා.”

නැචුරල් හිස්ට්‍රි මියුසියම්

ලන්ඩනයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරය

ස්වභාවික ඉතිහාසයේ විවිධ ඛණ්ඩවලට අයත් ශාක සහ සත්ව නිදර්ශක ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. 1881 වසරේ ආරම්භ කරන ලද කෞතුකාගාරය උද්භිද විද්‍යාව, කෘමි විද්‍යාව, ඛනිජ විද්‍යාව, ෆොසිල අධ්‍යන විද්‍යාව සහ ජීව විද්‍යාවට අදාළ නිදර්ශක මිලියන ගණනක නිවහන වේ. එසේම කෞතුකාගාරය පර්යේෂණ මධ්‍යස්ථානයකි.

16 වෙනි ශතවර්ෂයේ සිට මේ දක්වා ලොව පැරණිතම සහ විශාලතම ලයිකන එකතුව තැන්පත් කර ඇති ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ආචාර්ය ගෝතමී වීරකෝන් ඊට අදාළ පරිපාලන, කළමනාකරණ සහ පර්යේෂණ කටයුතු මෙහෙයවයි. ඇය යටතේ තවත් පර්යේෂකයන් සය දෙනෙක් කටයුතු කරති.

පරිනාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් රැස් කළ සහ ඔහුගේ අත් අකුරින් සටහන් තබන ලද ලයිකන නිදර්ශක ද පවතින්නේ ඇයගේ භාරයේය.

චාල්ස් ඩාවින්ගේ අත් අකුරු සහිත නිදර්ශකයක්

ඉදිරි වසර 200

ලොව ඉදිරියේ ඇති දැවැන්තම අභියෝගය වන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මාර්තු මසදී ආරම්භ වන පර්යේෂණයකට සහභාගිවීමට නියමිත ආචාර්ය ගෝතමී වීරකෝන් තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත පර්යේෂණ කණ්ඩායමේ සිටින එකම දකුණු ආසියානු විද්‍යාඥවරියයි.

ලන්ඩනයේ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය, එක්සත් රාජධානියේ පරිසර විද්‍යා සහ ජල විද්‍යා මධ්‍යස්ථානය, රාජකීය උද්භිද උද්‍යානය – එඩින්බරෝ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ සාක් කලාපයේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන එක්ව හිමාල කලාපයේ සිදු කිරීමට නියමිත එම පර්යේෂණය මගින් නයිට්‍රිජන් සහ ඇමෝනියා වායුවල ඉහළ යාම, හිමාල කඳු වැටිය ආශ්‍රිත පරිසර පද්ධතියට සහ දකුණු ආසියාතික ස්වභාවික පරිසර පද්ධති කෙරෙහි බලපාන ආකාරය නිර්ණය කිරීමට නියමිතය.

ලයිකන ජීව මිනුම් දර්ශකයක් වශයෙන් යොදා ගනිමින් සිය අධීක්ෂණය යටතේ එම පර්යේෂණය සිදු කිරීමට නියමිත බව ආචාර්ය ගෝතමී වීරකෝන් සඳහන් කරයි. එහිදී දේශගුණ විපර්යාස හේතුවෙන් ඉදිරි වසර 200 තුළ ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවලට එල්ල විය හැකි බලපෑම නිර්ණය කිරීමට නියමිත බව ඇය වැඩිදුරටත් පැවසීය.

තිරසාර සංවර්ධනය සහ ශ්‍රී ලංකාව

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ වන විනාශයක් සිදුව ඇති බවට පසුගිය වසර කිහිපය පුරා චෝදනා එල්ල විය

කෙසේ නමුත් දේශගුණ විපර්යාස සඳහා පවතින සූදානම සහ පරිසර සංරක්ෂණය අතින් ශ්‍රී ලංකාව අද සිටින ස්ථානය ගැන ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් කණගාටු වන බව ආචාර්ය ගෝතමී වීරකෝන් පවසයි.

“බලන්න, විල්පත්තු වන විනාශයක් ගැන හැමෝම කතා කළා. මම විල්පත්තුවට ගිහින් කළ පර්යේෂණවලින් පසු පළ කරපු පර්යේෂණ වාර්තා මගින් බලා ගත හැකියි, එය කෙතරම් සංවේදී පරිසර පද්ධතියක් ද කියන එක. නමුත් ඒ සම්බන්ධයෙන් අදටත් විධිමත් සොයා බැලීමක් සිදු වෙලා නැහැ.”

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් “මීගමුව කඩොලාන පද්ධතියක් පිහිටි භූමි ප්‍රදේශයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ සිය විරෝධය පළ කළ ආකාරය දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය

“කඩොලාන මුල් කර ගනිමින් වන සංරක්ෂණ නිලධාරිනියක් සහ දේශපාලනඥයෙක් අතර ඇති වූ සංවාදය ශ්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන තවත් හොඳම උදාහරණයක්,” යනුවෙන් ආචාර්ය ගෝතමී වීරකෝන් පවසයි.

“ඇය කී දේවල් සියල්ල සාධාරණයි. මාත් ඇය සමග සිට ගන්නවා. ඇය අයෝමය කාන්තාවක්. අපට ඇය වගේ තව තවත් නිලධාරිනියන්, නිලධාරීන් අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ ඉන්නවා ඒ වගේ අයෝමය ශක්තිය තිබෙන පරිසර විද්‍යාඥවරියන්. අප රට සංවර්ධනය කරා යන ගමනේදි, එය තිරසාර සංවර්ධනයක් (Sustainable Development) කිරීම සඳහා, ඒ සියලු දෙනා මේ වෙලාවේ අත්වැල් බැඳ ගත යුතුයි. ඒ හැර පරිසරය විනාශ කරලා කරන සංවර්ධනයකින් වැඩක් වෙන්නේ නැහැ. කාන්තාවන් වශයෙන් අප ළඟ තිබෙන මේ අයෝමය ශක්තිය සහ විෂය දැනුම පරිපාලනය සහ දේශපාලනය සඳහා යෙදවීමට කාලය එළඹ ඇති බව මා සිතනවා,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඒ සඳහා ඉදිරියට එන ලෙස ආචාර්ය ගෝතමී වීරකෝන් ශ්‍රී ලංකාවේ තරුණ පරපුරෙන් ඉල්ලා සිටී.

‘අයෝමය’ කාන්තාවන්

“මට කඳු නගින්න වෙනවා, ගස් නගින්න වෙනවා, රැයක් දවාලක් නැතුව වැඩ කරන්න වෙනවා. ඒ වගේම බොහෝ විට ඒ දේවල් කරන්න වෙන්නේ මේල් ටීම් (පිරිමි කණ්ඩායමක්) එකක් සමග”

“මම සේවය කරන මේ ආයතනය සහ ජීවත් වන මේ රට තුළ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව වැඩ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ ඒ තත්ත්වය තරමක් වෙනස්.”

“උදාහරණයක් වශයෙන් මගේ පරීක්ෂණ සඳහා මට නිවසින් පිට, වන ගත ප්‍රදේශවල සංචාරය කළ යුතුයි. එහිදී මට කඳු නගින්න වෙනවා, ගස් නගින්න වෙනවා, රැයක් දවාලක් නැතුව වැඩ කරන්න වෙනවා. ඒ වගේම බොහෝ විට ඒ දේවල් කරන්න වෙන්නේ මේල් ටීම් (පිරිමි කණ්ඩායමක්) එකක් සමග. එවැනි අවස්ථාවල මා වගේම ශ්‍රී ලංකාවේ ඉන්න අනෙක් පර්යේෂිකාවනුත් අභියෝගවලට මුහුණ දෙනවා. විශේෂයෙන් කාන්තාවක් වීම නිසා යම් යම් දේ කළ නොහැකි බවට ස්ථාපිත ආදර්ශ (Stereotypes) පවතින පසුබිමක. නමුත් ඒ අභියෝග ජය ගත් නිසා තමයි මම අද වෘත්තීය (Career) අතින් මෙවැනි දුරක් පැමිණ තිබෙන්නේ,” යනුවෙන් ඇය කියා සිටී.

ගැහැණු දරුවෙක් උසස් අධ්‍යාපනය නිම කළ ද ඉන් අනතුරුව විවාහ වී දරුවන් බිහි කර නිවසට වී සිටිය යුතු බවට පවතින විශ්වාසය යල් පැන ගොස් ඇති බව ඇයගේ අදහසය. දියණියක්, බිරිඳක්, මවක් වශයෙන් පැවරෙන වගකීම් ද ඉටු කරමින් තමන් සිය වෘත්තීය ඉලක්ක ජය ගත් බවත් ඉන් නොනැවතී මනුෂ්‍ය දියණියක් වශයෙන් ලොව ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සිය දායකත්වය ලබා දෙන බවත් ආචාර්ය ගෝතමී වීරකෝන් වැඩිදුරටත් සඳහන් කළාය.