//“බෙයිජිං සැලසුම මා පරාජය කිරීම” – ජනාධිපති ට්‍රම්ප්ගෙන් චීනයට දැඩි විවේචනයක්
donald trump

“බෙයිජිං සැලසුම මා පරාජය කිරීම” – ජනාධිපති ට්‍රම්ප්ගෙන් චීනයට දැඩි විවේචනයක්

කොරෝනාවෛරස් වසංගතය මැද ‘බෙයිජිං පාලනය’ට එල්ල කරන විවේචන තවත් දැඩි කරමින් ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මීළඟ ජනාධිපතිවරණයේදී චීනය තමා පරාජය කිරීම සඳහා ”ඔවුන්ට හැකි ඕනෑ ම දෙයක්” සිදු කරනු ඇතැයි කියා සිටියේය.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ, ධවල මන්දිරයේදී ‘රොයිටර්’ පුවත් සේවය සමඟ අදහස් දක්වමිනි.

කොරෝනාවෛරසය (Covid 19) එක්සත් ජනපදයෙහි පැතිර යාම සම්බන්ධයෙන් ”බොහෝ” ප්‍රතිවිපාකවලට මුහුණ දීමට බෙයිජිං පාලනයට සිදුවනු ඇතැයි ද ජනාධිපති ට්‍රම්ප් පවසයි.

‘Covid 19’ වෛරස් වසංගතය පිළිබඳව එය පැතිරීම ආරම්භයේදී ම ලෝකයට දැනුම් දීමට චීනය පියවර ගත යුතුව තිබුණු බවත් ජනාධිපති ට්‍රම්ප් ඉහත කී සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

කොරෝනාවෛරස් වසංගතයත් සමග ඒ වන විට පිබිදීමක් ලබමින් තිබුණු ඇමෙරිකානු ආර්ථිකයට මරු පහරක් එල්ල විය.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් යළි පදවිය දිනා ගැනීම පිණිස ඡන්ද දායකයන්ට ඉදිරිපත් කිරීමට බලා සිටියේ එම ආර්ථික පිබිදීම පිළිබඳ සටන් පාඨයයි.

Donald Trump

චීනය සමග වෙළෙඳ යුද්ධයක පැටලී සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා, බෙයිජිං පාලනයට එරෙහිව ඔහු කටයුතු කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කර නැත.

කොරෝනා වසංගතය ආරම්භයේදී ම ඒ ගැන ලෝකය දැනුවත් කිරීමට චීනය ඒ මොහොතේ ම පියවර ගත යුතුව තිබුණු බවත් ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙයි.

එක්සත් ජනපදය තුළ අර්බුදය පාලනය ක‍ර ගැනීමට අවශ්‍ය පියවර නොගත් බවට ඇමෙරිකානු ජනාධිපතිවරයාත් විවේචනයට ලක්වෙමින් සිටියි.

“මට කරන්න බොහෝ දේවල් තිබෙනවා. අපි බලාගෙන ඉන්නේ මොනව ද සිද්ධ වෙන්නේ කියල,” ඩොනල්ඩ් ට්‍රම්ප් ‘රොයිටර්’ පුවත් සේවය සමග සිය සාකච්ඡාවේදී සඳහන් කළේය.

“නොවැම්බර් මාසයේ ජනාධිපති තරගයෙන් මාව පරාජය කිරීම සඳහා චීනය ඔවුන්ට කරන්න පුළුවන් උපරිමය කරාවි,” ඔහු සඳහන් කළේය.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වැදීමට ඉඩකඩ ඇති ‘ජෝ බයිඩ්න් (Joe Biden) බලයට ගෙන ඒමට බෙයිජිං පාලනයට අවශ්‍ය වී ඇතැයි’ තමා විශ්වාස කරන බවත් රිපබ්ලිකන් ජනාධිපතිවරයා පවසයි.

එහෙත් ජෝ බයිඩ්න් ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ දැක්වෙන දත්ත තොරතුරු සම්බන්ධයෙන් තමා තුළ සැකයක් ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත.

“මම මත විමසුම් (polls) සම්බන්ධයෙන් විශ්වාසයක් තියන්නේ නැහැ,” ජනාධිපති ට්‍රම්ප් පවසයි.

“මේ රටේ මහ ජනතාව දියුණුයි කියල මම විශ්වාස කරනවා. මම හිතන්නේ නැහැ මහජනයා අදක්ෂ පුද්ගලයෙක් තෝරා ගනීවි කියල.”

ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක ප්‍රාන්තවලින් තමා පරාජය වෙන බව දැක්වෙන අභ්‍යන්තර මත විමසුම් ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් පසුගිය ඉරිදා සන්ධ්‍යාවෙහි සිය දේශපාලන උපදේශකයන් සමඟ ගැටුණු බවක් එක්සත් ජනපද මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

ජනාධිපති ට්‍රම්ප් යළි පදවියට පත්කර ගැනීමට කටයුතු කරන ඔහුගේ කණ්ඩායමේ ඇතැමුන් ‘මිචිගන්’ ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්ත ගැන විශ්වාසය තබා සිටින අතරවාරයේ, ඔහුගේ ම ආධාරකරුවන් ඉතා දැඩි තරගකාරිත්වයක් සහිත ෆ්ලොරිඩා, විස්කොන්සින් සහ ඇරිසෝනා වැනි ප්‍රාන්තවල ජයග්‍රහණය සම්බන්ධයෙන් සැක පළ කරන බව ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ ආයතනය වාර්තා කළේය.

“මම ජෝ බයිඩ්න්ට පරාජය වෙන්නේ නැහැ,” ට්‍රම්ප් ප්‍රකාශ කළ බවක් ද වාර්තා වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්‍රකාශය කරන ලදැයි පැවසෙන සමූහ විද්‍යුත් සාකච්ඡාවට (a conference call) ‘ෆ්ලොරිඩා’ ප්‍රාන්තයේ සිට හවුල් වූ ඔහුගේ ප්‍රචාරක කළමනාකරු බ්‍රැඩ් පාර්ස්කේල්ට (Brad Parscale) ජනාධිපති ට්‍රම්ප් බැන වැදුණු බවක් ද ප්‍රචාරය විය.

බ්‍රැඩ් පාර්ස්කේල්ට ශාප කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, එක් අවස්ථාවකදී ඔහුට එරෙහිව නඩු පවරන බවක් ද කියා ඇත. එහෙත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට යාමක් තරම් වූ ඔහුගේ තර්ජනය කොතරම් දැඩි එකක් වී ද? යන්න පැහැදිලි නැතැයි CNN රූපවාහිනිය සහ ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පත පවසයි.

ට්‍රම්ප්ගේ චීන විරෝධය

ජනාධිපති ට්‍රම්ප්ගේ හැමදාමත් ඇති චීන විරෝධය පසුගිය සති කිහිපය තුළ වඩාත් තියුණු මුහුණුවරක් ගනිමින් පවතී. ඔහු චීනයේ ප්‍රකාශිත කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාවේ නිරවද්‍යතාව ප්‍රශ්න කරයි. එපමණක් නොව, Covid 19 වෛරසය “වුහාන් (Wuhan) නගරයේ විද්‍යාගාරයකින් ආරම්භ වීය,” යන අදහසත් ඉදිරිපත් කිරීමට ඔහු කල් බලමින් සිටින බවත් කියා ඇත.

එහෙත් වෛරසය ලෝකයෙහි පැතිර යාමට ඉඩ සලසමින් ඒ ගැන ලොව දැනුවත් කිරීම චීනය විසින් ප්‍රමාද කරන ලද්දේ, දේශපාලන යටි අරමුණකින් යයි ජනාධිපති ට්‍රම්ප් කරන චෝදනාව ඔහු විසින් මෙතෙක් කරන ලද කර්කෂම විවේචනයයි.

ජනාධිපතිවරයාගේ චෝදනාව වන්නේ එම හැසිරීම “සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ වාසිය වෙනුවෙන් සැලසුම් කරන ලද්දක්,” බවටය.

චීන පාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලී යුචේං (Le Yucheng) පසුගිය දා ප්‍රකාශයක් කරමින්, ජනාධිපති ට්‍රම්ප් වෛරස් වසංගතය පාලනය කරන ආකාරය ප්‍රශ්න කර තිබිණි.

Covid-19 වෛරසය පැතිර යාමේදී ඇමෙරිකානු ජනතාව ඊට මුහුණ දීම සඳහා මනාව සූදානම් කිරීමට ප්‍රමාණවත් පියවර නොගත් බවට චීන නිලධාරියා ජනාධිපති ට්‍රම්ප්ට චෝදනා කළේය.

දැනට ප්‍රකාශිත සමාජ දූරස්ථභාවයට අදාළ උපදෙස් අප්‍රියෙල් 30 දින කල් ඉකුත්වීමත් සමග ඒවා යළි බලගැන්වීම සඳහා පියවර නොගැනීමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය බදාදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.

දින පහළොවක් සඳහා මුලින් ප්‍රකාශයට පත්කළ එම කොරෝනාවෛරස් උපදෙස් එම දින පහළොව ඉකුත්වත්ම තවත් දින තිහකින් දීර්ඝ කරනු ලැබිණ.

ගෙදර සිට රැකියා කිරීම, සමූහ වශයෙන් රැස්වීමෙන් වැළකීම සහ බරපතළ ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන්ට ස්වයං – හුදෙකලාවීම ඇතුළු ක්‍රියාමාර්ග සඳහා එම උපදෙස් මගින් ඇමෙරිකානු වැසියෝ දිරිගන්වනු ලැබූහ.

එකී කාලය තුළ වැඩි වශයෙන් ධවල මන්දිරයෙහි සිරවී සිටි ජනාධිපති ට්‍රම්ප්, ලබන සතියේ ‘ඇරිසෝනා’ හි සංචාරයක නිරත වෙමින් තම සංචාර නැවත ආරම්භ කිරීමට සැලසුම් කරන බවත් ප්‍රකාශ කර ඇත.

දහස් ගණනක් සිය ආධාරකරුවන් සහභාගි කර ගනිමින්, මහජන ප්‍රචාරක රැලි පැවැත්වීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

මේ වන විට කොරෝනාවෛරසය මගින් ලෝකයේ වැඩිම හානිය වාර්තා වූ රට ඇමෙරිකා එක්සත් ජනපදයයි. මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොසිනි. කොරෝනාවෛරසයෙන් බැට කෑ පසුගිය සති හය ඇතුළත වාර්තා වූ මරණ ගණන අවුරුදු විස්සක් සිදුකළ වියට්නාම් යුද්ධයේදී ජීවිතක්ෂයට පත් ඇමෙරිකානුවන්ගේ සංඛ්‍යාව ද ඉක්මවා ගියේය.

මෙයින් සති කීපයකට පෙර එක්සත් ජනපද රැකියා විරහිතභාවය වාර්තාගත මට්ටමින් පහත වැටී තිබිණ. එහෙත් අද දෙකෝටි හැටලක්ෂයක් (මිලියන 26 ක්) පමණ ජනයා රැකියා විරහිතයන්ව සිටිති.

අප්‍රියෙල් 29 දින ප්‍රකාශයට පත්කරන ලද දත්ත තොරතුරු අනුව ඇමෙරිකානු ආර්ථිකය 5% කින් හැකිලී ගොසිනි.

‌බීබීසී පුවත් සේවය ඇසුරිණි.