//කොරෝනා වෛරස ප්‍රතිකාර: ඖෂධයක් සොයා ගැනීමට තව කොපමණ කලක් ගත වේ ද?
corona medicine

කොරෝනා වෛරස ප්‍රතිකාර: ඖෂධයක් සොයා ගැනීමට තව කොපමණ කලක් ගත වේ ද?

කොවිඩ් -19 ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 227,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති නමුත් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට සහය විය හැකි බවට තහවුරු වූ ඖෂධයක් මෙතෙක් සොයාගෙන නැත.

ජීවිත රැක ගැනීම සඳහා ඖෂධයක් සොයා ගැනීමට තව කොපමණ කලක් ගත වේ ද?

ප්‍රතිකාර සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ කුමක් ද?

මේ වන විට ලොව පුරා විවිධ ඖෂධ වර්ග 150 කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. එමෙන් ම, වෛරසයට එරෙහිව දැනට අත්හදා බැලූ ඖෂධ වර්ග බොහෝමයක් දැනට පවතින ඒවාය.

  • වඩාත් විශ්වාසදායක ප්‍රතිකාර තක්සේරු කිරීමේ අරමුණින් සහයෝගයෙන් අත්හදා බැලීම් දියත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පියවර ගෙන තිබේ.
  • මේ වන විට ලෝකයේ විශාලතම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ එක්සත් රාජධානිය යැයි පවසන අතර, එයට රෝගීන් 5,000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.
  • තව ද වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගේ රුධිරය අන් ආසාදිතයන්ට ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීමට ද ක්‍රියා කරමින් සිටියි.

වෛරසයට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ඖෂධ වර්ග මොනවා ද?

corona medicine
මැලේරියා ඖෂධ අත්හදාබැලීම සහයෝගීතා සහ ප්‍රතිසාධන පරීක්ෂණ දෙකෙහිම කොටසකි

මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රවේශයන් තුනක් පිළිබඳ විමර්ශන සිදුකෙරෙමින් පවතී:

  • ශරීරය තුළ කොරෝනාවෛරසය ශක්තිමත් වීමට ඇති හැකියාව කෙරෙහි සෘජුව ම බලපාන ප්‍රතිවෛරස් ඖෂධ
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය සන්සුන් කළ හැකි ඖෂධ – ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා කිරීම මගින් ශරීරයට සිදුවන අතුරු හානියෙන් පුද්ගලයන් බරපතළ ලෙස රෝගාතුර වේ
  • සුව වූ පුද්ගලයන්ගේ රුධිරයෙන් හෝ විද්‍යාගාරයක සාදන ලද වෛරසයට ප්‍රහාර එල්ල කළ හැකි ප්‍රතිදේහ

වඩාත් ම බලාපොරොත්තු තැබිය හැකි කොරෝනාවෛරස් ඖෂධය කුමක් ද?

corona medicine
“පැහැදිලි, කැපී පෙනෙන, ධනාත්මක බලපෑමක් රෙම්ඩිසිවියර් ඇති කළා”

ඉබෝලා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා නිපදවූ ප්‍රතිවෛරස නාශකයක් වන ‘රෙම්ඩිසිවියර්’ (remdesivir) නවතම සායනික අත්හදාබැලීම්වලට යොදා ගන්නා අතර, එහි යම් ප්‍රගතියක් නිරීක්ෂණය වී තිබේ.

රෙම්ඩිසිවියර් ඖෂධය ලබා දුන් රෝගීන්ගේ රෝග ලක්ෂණ පවතින කාල සීමාව දින 15 සිට 11 දක්වා අඩු වී ඇති බව එක්සත් ජනපදය ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනය (NIAID) සොයාගෙන ඇත.

අදාළ සායනික අත්හදාබැලීම් සඳහා ලොව පුරා රෝහල්වල පුද්ගලයින් 1,063 ක් සම්බන්ධ කරගෙන තිබේ. සමහරුන්ට ඖෂධය ලබා දී ඇති අතර අනෙක් අයට එතරම් ප්‍රබල නොවූ (ව්‍යාජ) ප්‍රතිකාරයක් ලබා දී තිබේ.

“රෝගියා යථාතත්ත්වයට පත්වීමේ කාලය අඩු කිරීම සඳහා පැහැදිලි, කැපී පෙනෙන, ධනාත්මක බලපෑමක් රෙම්ඩිසිවියර් ඇති කළා,” යැයි NIAID මෙහෙයවන ආචාර්ය ඇන්තනි ෆෝසි පැවසීය.

රෝගියා යථාතත්ත්වයට පත්වීමට රෙම්ඩිසිවියර් උපකාරී වුවද, සමහර විට දැඩි සත්කාර ප්‍රතිකාර ලබා ගැනීම වැළක්විය හැකි වුවද, මෙමගින් කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ වළක්වා ගත හැකි ද යන්න පිළිබඳ පැහැදිලි සාක්ෂි ලැබී නොමැත.

රෝගයේ මුල් අවධියේදී ප්‍රතිවෛරස ඖෂධ වඩාත් ඵලදායී විය හැකි අතර, රෝගය උත්සන්න වූ පසු ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා දිය යුතු යැයි සැලකේ.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා අත්හදා බැලීමට ඇතුළත් ඖෂධ වර්ග හතරෙන් එකක් වන අතර, එය නිෂ්පාදනය කරන ගිලියඩ් (Gilead) සමාගම ද අත්හදා බැලීම් සංවිධානය කරමින් සිටියි.

එක්සත් ජනපදය රෙම්ඩිසිවියර් සායනික අත්හදාබැලීම් පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කරන කාලය තුළ ම චීනය ද එම ඖෂධය ගැන අත්හදා බැලීම් සිදුකර ඇති නමුත්, එය අසාර්ථක වී ඇතැයි ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ වාර්තා විය.

කෙසේ නමුත්, වූහාන් නගරය වසා දැමීම සාර්ථක වීමත් සමග රෝගීන් සංඛ්‍යාව අවම වීමෙන් අදාළ අත්හදාබැලීම් අසම්පූර්ණ විය.

එච් අයි වී වෛරසයට ලබා දෙන ඖෂධවලින් කොරෝනාවෛරසයට ප්‍රතිකාර කළ හැකි ද?

එච් අයි වී වෛරසයට ලබා දෙන ඖෂධ යුගලයක් වන lopinavir සහ ritonavir ඵලදායී වනු ඇති බවට කතාබහක් තිබුණ ද එය කොරෝනාවෛරසයට ප්‍රතිකාර කිරීමේදී සාර්ථක වූ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

එය රසායනාගාර පරීක්ෂණවලදී සාර්ථක වූ බවට සාක්ෂි ඇතත් රෝගීන් සම්බන්ධ කර සිදුකළ අධ්‍යයනයන් අසාර්ථක වී තිබේ.

බරපතළ රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 ආසාදිතයන් අවම කිරීමට හෝ මරණ අඩු කිරීමට එම ඖෂධ සංයෝගයෙන් නොහැකි වී ඇත.

කෙසේ වෙතත්, මෙම ඖෂධ අත්හදාබැලීම් සිදුකර ඇත්තේ ඉතා බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ටය (ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ මිය ගොස් ඇත). ඖෂධයේ නිසි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එය රෝගයේ මුල් අවදියේදී ලබා දිය යුතු වන්නට ද පුළුවන.

මැලේරියාවට ලබා දෙන ඖෂධවලට කොරෝනාවෛරසය නැවැත්විය හැකි ද?

මැලේරියා ඖෂධ අත්හදාබැලීම සහයෝගීතා සහ ප්‍රතිසාධන පරීක්ෂණ දෙකෙහි ම කොටසකි.

Chloroquine සහ ඊට සම්බන්ධ ව්‍යුත්පන්නයක් වන hydroxychloroquine වල ප්‍රතිවෛරස් මෙන් ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය සන්සුන් කිරීමේ ගුණාංග ද තිබිය හැකිය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන ලද ප්‍රකාශයන් නිසා මෙම ඖෂධ කොරෝනාවෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස අවධානයට ලක්ව ඇත. නමුත් එහි සාර්ථකත්වය පිළිබඳ තවමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

Hydroxychloroquine ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රමවත් කිරීමට උපකාරී වන නිසා එය සන්ධිප්‍රදාහය (rheumatoid arthritis) සඳහා ප්‍රතිකාරයක් ලෙස ද භාවිත කරයි.

මෙය කොරෝනාවෛරසයට බාධාවක් විය හැකි බව රසායනාගාර පරීක්ෂණ මගින් පෙන්වා දී ඇති අතර, රෝගීන්ට ද උපකාරී වූ බව වෛද්‍යවරුන්ගෙන් උපුටා ගත් සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එහි සාර්ථකත්වය පිළිබඳ තවමත් නිශ්චිත සාක්ෂි නොමැති බවය.

ප්‍රතිශක්තිකරණ ඖෂධ භාවිත කළ හැකි ද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට එරෙහිව අධික ලෙස ප්‍රතික්‍රියා දක්වන්නේ නම් එයින් ශරීරය පුරා ප්‍රදාහය ඇති කරයි. ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පෙළගැස්වීමට මෙය උපකාරී වේ. නමුත් ඕනෑවට වඩා සිදුවන ප්‍රතික්‍රියා දැක්වීමෙන් අතුරු හානි සිදු වී මරණය පවා සිදුවිය හැකිය.

ශරීරයේ පටක අසාමාන්‍යය ලෙස ඝනවීම (sclerosis) වැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කර ප්‍රදාහය අවම කිරීමට භාවිත කරන interferon beta ගැන සහයෝගිතා අත්හදාබැලීම් තුළ පරීක්ෂණ පැවැත්වේ.

වෛරසයකට ගොදුරු වූ විට ශරීරය මගින් මුදා හරින රසායනික ද්‍රව්‍ය සමූහයක් interferon ලෙස හැඳින්වේ.

එක්සත් රාජධානිය ප්‍රතිසාධන පරීක්ෂණය යටතේ ඩෙක්සමෙතසෝන් (dexamethasone) ඖෂධය භාවිත කරනු ලබයි. මෙය ශරීරයේ ප්‍රදාහය අවම කිරීම සඳහා භාවිත කරන විටමින හා හෝමෝන අඩංගු සංයෝගයකින් සමන්විතය.

කොරෝනාවෛරසයෙන් සුවය ලැබූවන්ගේ රුධිරයෙන් අන් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ හැකි ද?

ආසාදනයකින් සුවය ලැබූ පුද්ගලයින්ගේ රුධිරයේ ප්‍රතිදේහ සෑදී තිබිය යුතුය.

මෙහි අදහස නම් ඔබේ රුධිර ප්ලාස්මා (ප්‍රතිදේහ අඩංගු කොටස) ගෙන ප්‍රතිකාරයක් ලෙස රෝගියෙකුට ලබා දීමය.

එක්සත් ජනපදය මේ වන විටත් රෝගීන් 500 දෙනෙකුට මේ ආකාරයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර, අනෙකුත් රටවල් ද ඊට සම්බන්ධ වී තිබේ. එම ක්‍රමවේදය “සුවදායක ප්ලාස්මා” ලෙස හඳුන්වා තිබේ.

අපට ප්‍රතිකාරයක් ලැබෙන්න කොපමණ කලක් ගත වේ ද?

කොරෝනාවෛරසයට ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් අප සතු වන්නේ කවදා දැයි දැන ගැනීමට තවමත් කල් මදිය.

කෙසේ වෙතත්, අත්හදා බැලීම්වල ප්‍රතිඵල ඉදිරි මාස කීපය තුළ ලැබෙනු ඇත. ආසාදනයෙන් ආරක්ෂා විය හැකි එන්නතක් සොයා ගැනීමට බොහෝ කලකට පෙර එයට ප්‍රතිකාරයක් ගැන අසන්නට ලැබෙනු ඇත.

වෛද්‍යවරුන් අත්හදාබැලීම් සිදුකරන මෙම ඖෂධ දැනටමත් නිපදවා ඇති භාවිතයට සුදුසු වර්ග වන නමුත්, එන්නතක් සොයාගැනීමේ පර්යේෂණ මුල සිට ම ආරම්භ කළ යුතු වීම මෙයට හේතු වේ.

පර්යේෂණාත්මක මට්ටමේ පවතින නව ඖෂධ රසායනාගාරවලදී පරීක්ෂාවට ලක් කෙරෙන නමුත් මිනිස් සිරුරු මත පරීක්ෂණ සඳහා තවමත් සූදානම් නැත.

අපට ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ ඇයි?

ජීවිත බේරා ගැනීමට හැකිවීම ප්‍රතිකාර ලබා ගත යුතු පැහැදිලි හේතුව වන අතර, එමගින් සාමාන්‍යය දිවිපෙවතට දැනට පනවා ඇති සීමා ලිහිල් කිරීමට ද හැකි වේ.

නිසි ප්‍රතිකාර ලබා ගැනීම මගින් කොරෝනාවෛරසය ද තවත් එක් සුළු රෝගයක් බවට පත් විය හැකිය.

රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයින් මෙම ප්‍රතිකාර හේතුවෙන් හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍රවලට (ventilator) සවි කිරීමට අවශ්‍ය නොවන්නේ නම්, දැඩි සත්කාර ඒකක පිරී යාමේ අවදානම ද අඩු වනු ඇත. එවිට පුද්ගලයන්ගේ සාමාන්‍යය දිවිපෙවත මේ ආකාරයෙන් දැඩි ලෙස පාලනය කිරීමට අවශ්‍ය නොවේ.

වෛද්‍යවරුන් දැනට රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?

කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනෙකුට මතු වන්නේ සුළු රෝග ලක්ෂණ පමණක් වන අතර, විවේකය, පැරසිටමෝල් සහ නිතර දියර වර්ග පානය කිරීම මගින් එයට නිවසේදී ම ප්‍රතිකාර කළ හැකිය.

නමුත් සමහර පුද්ගලයන්ට රෝහලේ දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය වන අතර හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍රයේ ආධාර අවශ්‍ය වේ.

බීබීසී පුවත් සේවය ඇසුරිණි.