//ක්‍රිකට් : T20 නායකත්වයේ වෙනසක් ගැන අවධානය
ක්‍රිකට් : T20 නායකත්වයේ වෙනසක් ගැන අවධානය

ක්‍රිකට් : T20 නායකත්වයේ වෙනසක් ගැන අවධානය

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ලසිත් මාලිංග ඉවත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. 

ඒ දිගින් දිගටම ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ලබන පරාජයන් හමුවේය. පසුගියදා ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගාවලිය ද ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ක්‍රීඩා කළ තරග දෙකේදීම ඉන්දියාවට තරගයක් දීමට පවා ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. 

2018 වසරේ දෙවන වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්වූ ලසිත් මාලිංග එම කාල පරිච්චේදය තුළ තරග 12 ක් මෙහෙයවා ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි. 

  • නවසීලන්තය 2018 තරග 1-0ක් ලෙස පරාජය
  • දකුණු අප්‍රිකාව 2019 තරග 3-0ක් ලෙස පරාජය
  • නවසීලන්තය 2019 තරග 2-1ක් ලෙස පරාජය
  • ඔස්ට්‍රේලියාව 2019 තරග 3-0ක් ලෙස පරාජය
  • ඉන්දියාව 2020 තරග 2-0ක් ලෙස පරාජය

එම කාලසීමාවේ ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා පිළේ පකිස්ථාන සංචාරය තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග 3-0ක් ලෙස දසුන් ශානක යටතේ ජයගැනීමට සමත් විය. 

එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග යටතේ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරග අන්ත පරාජයකට ලක්විය. ඒ සමගම ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රීඩා විචාරකයන් ලසිත් මාලිංගගේ නායකත්වය ගැන විවේචන ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. 

“ශ්‍රේණිගත කිරීම් වල අංක 9 හිටපු කණ්ඩායම මම බාරගත්තේ. ඉතින් අපි අංක 9යට යනකම් කවුරුත් ඒ ප්‍රශ්නේ ඇහුවේ නැහැ, ඇයි අපි දිගින් දිගින් පරදින්නේ කියලා. අපි පිළිගන්න ඕනේ අපි විස්සයි විස්ස දක්ෂතා අතර නැති කණ්ඩායමක් කියලා. එහෙම නැති කණ්ඩායමක් දක්ෂතා අතරට ගේන්න සැහෙන කාලයක් යනවා.” තමන්ගේ නායකත්වයට එල්ලවෙන විවේචන ගැන ලසිත් මාලිංග ඉන්දීය සංචාරයෙන් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය. 

“කවුරුහරි කියනවනම් නායකත්වය තමයි පරාජයට හේතුව කියලා මට කියන්න තියෙන්නේ පන්තියේ ළමයි වැඩකරන්නේ නැතුව ප්‍රතිඵල එන්නේ නැත්නම් පන්තියේ නායකයා මාරුකරන එකද හරි කියන එක. එහෙමනම් මම ඒකට ඕන වෙලාවක ලෑස්තියි.” ලසිත් මාලිංග සඳහන් කළේය. 

දසුන් ශානක

2014 විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර පළමුවරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් ලසිත් මාලිංග එම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමට සමත්විය. කෙසේ නමුත් එහිදී ඔහුගේ නායකත්වයට අත්දැකීම් බහුල මහේල ජයවර්ධනගේ සහ කුමාර් සංගක්කාරගේ සහය හිමිවිය.

ඔවුන් දෙපළ 2014 වසරේ විශ්‍රාම යාමෙන් අනතුරුව 2016 දක්වා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග දැරුවත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය.

2016දී අබාධ තත්වයක් හේතුවෙන් නායකත්වය අහිමිවූ ඔහුට, 2018 වසරේ දෙසැම්බර් මාසයේ යළි නායකත්වය හිමිවිය. 

කෙසේ නමුත් දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ දැන් ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත්කර ඒ වෙනුවට  තරුණ ක්‍රීඩකයකු ආදේශ කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු පැවසුවේ මේ පිළිබඳ අවසන් තීරණය ලබන පෙබරවාරි මස තුළදී  ගැනීමට නියමිත බවයි. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග දෙකක් සඳහා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම තරගාවලියේ විස්සයි විස්ස තරගවල ශ්‍රී ලංකාව මෙහෙයවන්නේ ලසිත් මාලිංග ද නැත්නම් වෙනත් ක්‍රීඩකයෙක්ද යන්න තේරීම් කමිටුව තීරණයක් ගැනීමට සිදුවනු ඇත. 

පකිස්ථානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානකට විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායකත්වය ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව දැනටමත් යෝජනා කොට තිබේ. කෙසේ නමුත් විස්සයි විස්ස තරග 38ක් ක්‍රීඩාකර පිතිකරු ලකුණු සාමාන්‍ය 15ක් පමණක් ඇති දසුන් ශානක එම තනතුරට සුදුසු නොමැති බව තවත් පිරිසක් තර්ක කරනු දක්නට ලැබේ. 

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර ප්‍රධාන වටයට පිවිසීමට සුදුසකම් ලැබීමේ වටයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබේ.